ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට අධිකාරියක් රටේ අවශ්‍යතාවක්

0
10

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය  ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කර ඇති ප්‍රකාශය  පාදක කරගෙන ලියැවුණු ප්‍රවෘත්තියක් නොබෝදා අප පුවත්පතේ පළවූයේය.   මේ වන විට රට තුළ ක්ෂුද්‍ර  මූල්‍ය ආයතන 11000ක් පමණ ක්‍රියාත්මක වුවද ඉන් ලියාපදිංචි කර ඇත්තේ පහක් පමණක් බවත් එබැවින් ඒවා දැඩි නියාමනයකට යටත් කළ යුතු බවත් එම පුවතේ සඳහන් වේ.

දිළින්දන් හට සහයෝගීතාව දැක්වීමේ උපදේශාත්මක සමූහය විසින් නිර්වචනය කර ඇති පරිදි ක්ෂුද්‍ර මූල්‍ය යනු අඩු ආදායම්ලාභීන්ට මූල්‍ය සේවා සැපයීම බව ශ්‍රී ලංකා  මහ බැංකු පුවත් නිවේදනවල දැක්වේ. ප්‍රධාන  වශයෙන් ම ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති හෙයින් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපුරා ගත නොහැකි දිළිඳු පුද්ගලයන් වෙත ණය පහසුකම් ඉතිරි කිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැලසීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පිහිටුවීමේ මූලික පරමාර්ථය වන්නේය.

එහෙත් සිදුව ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නිසි නියාමනයකට යටත් නොවීම නිසා ඒවායින් ණය ලබාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂ 30ක් පමණ  අසීරුවේ වැටීමයි. 2019 වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති අඩු ආදායම් ලාභීන් සංඛ්‍යාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥවරයාගේ වාර්තාවට අනුව 28,98232ක් විය. මෙම ගැටලුව ජාත්‍යන්තර මට්ටමට ගොස් ඇති බව ඇමැතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් වේ.

එබැවින් ලියාපදිංචි වීමට පවා අනුගත නොවූ මෙරට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හේතු කිහිපයක් නිසා දැඩි නියාමනයකට හසු කර ගත යුතුව ඇත.

2018 දෙසැම්බර් 3 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නියෝගයකට අනුව මූල්‍ය ණය සඳහා අය කළ හැකි උපරිම  පොලිය සියයට 35 කි. එසේ වුවද ඇතැම් මූල්‍ය ආයතන සියයට20 සිට සියයට 220 දක්වා පොලී මුදල් අය කරන බව වාර්තා වී තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය පිහිටුවනු ලැබුවේ ගමේ පොලී මුදලාලි වැනි අවිධිමත් මූලාශ්‍රවලින් ණය ගැනීමට ඉඩ නොදී දුප්පත් ග්‍රාමීය ජනයා අසීරුතාවලින් මුදා ගැනීමටය. එහෙත් මෙවැනි අධික පොලී අය කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ ගමේ  පොලී මුදලාලි අතර වෙනසක් නැති බව පෙනේ. ඇතැම් විට මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ග්‍රාමීය මට්ටමේ ණය අයකරන  නියෝජිතයන් ක්‍රියා කොට ඇත්තේ අතිශය අමානුෂික ලෙසයි. ඇතැම් විට ණය ගෙවා ගත නොහැකිව අසීරුවෙන් පසුවන පුද්ගලයන්ගේ නිවෙස්වලට කඩා පනින ඔවුන් ණය පොලී ගෙවන තුරු ආපසු නො යන්නේමැයි තර්ජනය කොට උදේ නමයේ සිට පස්වරු 6 දක්වා එම නිවෙස්වල තර්ජනාත්මකව හැසුරුණු අවස්ථා ඇති බවටද වරින් වර වාර්තා වී තිබේ.

බොහෝ විට ණය ලබාගත් අසරණ ගැමි ජනයාගේ ගරුත්වයට හානි වන ලෙස ඉහත කී නියෝජිතයන් බැණවැදුණු අවස්ථා ද බොහෝ ය.

එසේම අපේක්ෂිත අරමුණ කරා යාම වෙනුවට ක්ෂුද්‍ර මූල්‍ය  ආයතනය යොමු වී ඇත්තේ එම අරමුණට තනිකර පටහැනි පැත්තකට  බවද වාර්තා වී ඇත. එවැනි සිද්ධී බලන විට ජනතාව ණය බරෙන් මුදාගැනීම වෙනුවට මෙම ආයතන සිදුකොට ඇත්තේ දුප්පත් ජනයා තව තවත් ණය සයුරේ ගිල්වා දැමීමයි. ණය ගෙවාගත නොහැකිව ළතැවෙන ඇතැම් පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් සිදු කර ඇත්තේ ඔවුන්ගෙන්  දඩ පොලී අය කරමින් අලු‍ත් ණය මුදලක් ඔවුන් හට නිකුත් කොට ඔවුන්  තවත් ණය භරිත කිරීමයි.

තවමත් මෙරට කෘෂි ආර්ථිකය කෙරෙහි වැඩි දායකත්වයක් ලබන්නේ ග්‍රාමීය ජනතාව බැවින්, ඔවුන්  ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ණය උගුලෙන් බේරාගෙන, ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායිතාව නැංවීම යුගයේ අවශ්‍යතාව වන අතර එය ආණ්ඩුවේත් සමස්ත ජනතාවගේත් අපේක්ෂාව විය යුතු බවද අවධාරණය කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here